විල්පත්තුවට ජීවය දෙමු

18jan

විල්පත්තුවට ජීවය දෙමු

ශ්‍රී ලංකාව එකල ඉන්දියන් සාගරයේ මුතු ඇටය. පුංචි සංදියේ ලියවෙන රචනාවක අපේ ප්‍රධානම මාතෘකාව "මගේ රට". එහි ලියැවෙන මුල්ම වචන පේලිය එයයි. "ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ මුතු ඇටයයි". ස්වභාවික උල්පත්, ජලාශ, ස්වයංපෝෂිත ආර්ථිකය මෙන්ම ස්වභාවික විපත් අවම රටක් ලෙස මනුෂ්‍යය වර්ගයාට වාසයට ඉතා සුදුසු පුංචි දිවයිනක් ලෙස බැබලෙන්නට මේ පුංචි මුතු ඇටය සමත්කම් දැක්‌වීය. ඉදහිට අධික වර්ෂාව හේතුවෙන් ඇතිවන ජල ගැල්මන් හැරුනු විටදී ගිනි කදු, ලැව්ගිනි, නායයෑම් අඩු රටක් ලෙස එකල විරාජමානව සිටියද..... නමුදු අද?? මේ මොහොතේදී ද හන්තාන රක්ෂිතය දැවෙමින් පවතී. නාය යෑම් මගින් සිදුවන ජීවිත හානි දැන් අපිට ඉතා හුරුපුරුදුය. රක්ෂිත පිටින් හෙළි පෙහෙළි කිරීම හේතුවෙන් නියං කාලවල් සහ බොන්නට දිය බිදු අහිමි වීම ඉතා සුලභය. හේතුව?? විශ්වයේ ජිවය බදු ස්වාභාවික රක්ෂිත මිනිස් ආක්‍රමණය මගින් සුනු විසුනු කිරීම ඊට ප්‍රධාන හේතුවකි. මෑත කාලීනව ඊට හොදම උදාහරණය විල්පත්තුව තුල සිදුවන මහා වන සංහාරයයි. දේශපාලන බල අධිකාරයේ අදිසි හස්නයට තැලී පොඩිවුන විල්පත්තුව නැවත නගා සිටුවීමට ප්‍රයත්න දරනා පුංචි කණ්ඩායම් වල ඉතා විශාල ශක්තීය කලින් කල ඉස්මතු වනු දැක්වීමට ලැබීමද සතුටකි. විල්පත්තු පාරිසරික සංකිර්ණයේ ප්‍රධානම කොටස විපත්තු ජාතික වනෝද්‍යානයයි. හෙක්ටයාර් 131693.7 කින් යුතු කොටස් පහකින් සමන්විත එය ලංකාවේ විශාලතම ජාතික වනෝද්‍යානයයි. ජාතික වනෝද්‍යානයට අමතරව එයට මායිම්ව කල්ලරු රක්ෂිත වනාන්තරය, විල්පත්තු උතුරු අභය භුමිය, තම්බෝව අභය භුමිය, වීරක්කුලිචෝවේ-එළුවන්කුලම් යෝජිත රක්ෂිතය වැනි වනාන්තර ප්‍රදේශයන් පිහිටා තිබෙනවා. මේ සියල්ල සැලකිය හැක්කේ එකල සත්ව ප්‍රජාවක් සංසරණය වන එකම පාරසරික පද්ධතියක් ලෙසින්ය, විශාලත්වය, පැතිරීම, සත්ව හා ශාක විවිධත්වය අතින් ගත කල මෙය ලංකාව සතු වටිනාම පරසර පද්ධතියක් ලෙස සැලකිය හැකියි. මේ වන පියස තුල කුල 118කට අයත් ශාක විශේෂ 600කට අධික ප්‍රමාණයක් හමු වන අතර එයින් 33ක් ශ්‍රී ලංකාවට ආවේණික කළු, බුරුත වැනි දැවමය ශාක වලින්ද කෝවක්ක, හීන් වැනි ඔසු පැලෑටි වලින්ද මේ වනය ගහනය. වියලි තෘණ බිම්, ජාල ගැලුම් නිම්න, වගුරු බිම්, වැව් පද්ධති හා කඩොලාන පරිසර පද්ධති වැනි උප පද්ධතීන් ගණනාවකින්ද සමන්විතය. මේ විවිධත්වයට අමතරව කලා ඔය, මල්වතු ඔය, කල්ලරු ඔය හා මෝදර ගං ආරු ඔය යන ජලධාරා වල පෝෂක ප්‍රදේශය වන්නේද මේ වන පියසයි. දේශපාලන බල අධිකාරියේ අනුහසින් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යන ආයතන දෙකටම අයත් වන ප්‍රදේශ වල විල්පත්තු උතුරු අභය භූමියට අයත් අක්කර 50ක් හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන කල්ලාරු රක්ෂිත වනාන්තරයට අයත් අක්කර 2500 ක් පමණ එලි පෙහෙළි කර තිබේ. ඉන් ඔබ්බට යමින් ජාතික වනෝද්‍යාන මායිමේම පිහිටි තවත් අක්කර 8000ක් පමණ එලි පෙහෙළි කර තිබේ. එපමණක් නොව පරිසරවේදී සජිව චාමිකර මහතා පවසන පරිදි උතුරු පළාතේ වන රක්ෂිත 17 කට අයත් අක්කර 17,000 ක් පමණ මෙසේ විනාශයේ අභිමුක පවතින බව පැවසේ. ජාතිවාදී හා දේශපාලන බලපෑම් මත මෙසේ විනාශ වී යන්නේ ඔබේත් මගේත් හුස්ම පොද බදු දැවැන්ත රක්ෂිතයක්... සමස්ත ජනසමාජයෙන් එක්ක වූ විරෝධතා මධ්‍යයේ විනාශය දිගින් දිගටම සිදුවිම නැවතී පැවතුනත්, සිදුවූ විනාශයේ හානිය අවම කරවීමට අපගේ මැදිහත් වීම අවශ්‍ය වනවා... ඒ අනුව විල්පත්තුව වෙනුවෙන් නැවත ජිවය ලබාදීමට අපි සුදානම්.... ගෝලීය මට්ටමේ ඇති විශාල විනාශය යම්තාක් හෝ අවම කරවීමට රුහුණු ව්ශ්ව විද්‍යාලීය ඉංජිනේරු පීඨයේ ගවේෂකයෝ ලෙස අපි සුදානම්...

අප රුහුණු විශ්වවිද්‍යාලයීය ඉංජිනේරු පීඨයේ 20වන සාංවත්සරික සැමරුම නිමිතිකොට ගෙන පීඨ "ගවේශකයෝ" සංගමය මගින් "විල්පත්තුවට ජීවය දෙමු" ව්‍යාපෘතිය යටතේ, 2020ක්වූ ජනවාරි මස 18 වන දින සංවිධානය කරනු ලැබූ රුක්රෝපණ වැඩසටහන ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සමග එක්ව අති සාර්ථකව අවසන් කරන ලදී. ශ්‍රී ලංකා යුධ හමුදා 54වන සේනාංකයේ, ප්‍රධාන අණදෙන නිලධාරී බ්‍රිගේඩියර් සුභාෂන වැලිකල නිලධාරී තුමන් ඇතුළු එදින එම අවස්ථාව සදහා සපැමිණි සිටි සියලු නිලයන් වල නිලධාරීන් ලබා දුන් සහයෝගය ඉතාමත් ගෞරවයෙන් යුතුව සිහිපත් කලයුතුය. අප පීඨයේ පීඨාධිපතිතුමා ඇතුළු ආචාර්ය මණ්ඩලයේ සියලුදෙනාගේ මගපෙන්වීම මත හා පීඨයේ සියලු ශිෂ්‍ය කණ්ඩායම් වල සහයෝගය එදින නොවඩුව ලැබුණු බව කිවයුතුමය. එදින අප විසින් සිටුවූ පැල සහිත භුමිය ප්‍රදේශය වනසතුන්ගෙන් ආරක්ෂා කරගැනීම සදහා රු.40,000කට අධික වටිනාකමකින් යුත් කටුකම්බි හා ඒ සදහා අවශ්‍ය අනෙකුත් උපකරණ අප පීඨ සියලු සහෝදරත්වයන්ගේ අනුග්‍රහයෙන් පරිත්‍යාග කිරීමට අපට හැකිවුණි.එය එදින සපැමිණි සිටි සියලුම යුධ හමුදා නිලධාරීන්ගේ පැසසුමට හේතුවිය. අනාගතයේදීත් මෙවැනිම වූ ව්‍යාපෘති දියත් කිරීමට "ගවේෂකයෝ" අපි සුදානම්... ඒ සදහා ඔබ සැමගේ දායකත්වය අප ඉදිරියටත් බලාපොරොත්තුවෙන් සිටින්නෙමු...